අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ




ගීතය නම් කිමැයි

කවීත්වය වූ කලී අපමණ වූ පින් මහිමයෙන් අපමණ වූ පින් යමෙකුට හිමි වන්නාවූ දායාදයකි. මෙලෙව තුළ මිනසෙකු වීම දුෂ්කරය. නමුදු විද්‍යා ඥානය ලැබීම ඉතා අල්පය. විද්‍යා ඥානය ලැබෙන්නේ අල්ප පිරිසකට වූ නමුදු කවීත්වය ඇත්තේ ඊටත් අල්ප වූ පිරිසකටය. තම මනස තූල අපූර්ව කවි සංකල්පනා බිහිවන්නා වූ නිර්මාණකයා කවියෙකි. ඔහු දෙවියන් හා සමානය. එනම් ඔහු මැවුම්කරුවෙකි. අපූර්ව කවි සංල්පනාවන් මවන්නෙකි. ඔහු මවන්නේ යථාර්ථයයි. පෙනෙන දේට වඩා නොපෙනෙන දේ දෙස විමසීමෙන් බලයි. එනමුදු එය හුදු වාර්ථාවක් නොවෙයි. යථාර්ථය අපූර්ව පද සංකලනයෙන් අපූර්ව කවි සංකල්පනා යොදමින් කාව්‍යානුසාරයෙන් යථාර්ථය හෙළිකරනු ලැබෙයි. යාචකයාගේ පාදයෙහි එක් දදයක් වෙයි. එය දෙස බැලීමටත් පිළිකුල්ය. අප‍්‍රසන්නය. පණුවන් පිරීඇත. සැරව ගලා යයි. නමුත් ඔහු එය පැලැස්තරයකින් ආවරණය කර ඇත. එපරිද්දෙන් වූ එකී දදය පැලැස්තර ලිහා ලෝකයට එහි සැබෑ ස්වරුපය පෙන්වීම කවියාගේ කාර්ය භාර්යයි. වත්මන් කවියා ලෙස මා අදහස් කළේ විදග්ධ කවියා බව කිව යුතුමය. එලෙසම විදග්ධ කවියා සේම මනා සංයමයක් ඇති ගී පද රචකයා සමාජය විනිවිද දකී. ඔවුන්ගේ පෞද්ගලික අනුභූතින් මෙන්ම අන් අයගේ අනභූතින් තමාගේ හිත සසල කරවන ලද අත්දැකීම් අපූර්ව පද සංඝටනාවෙන් සහෘද හෘද සන්තානය ස්පර්ෂ කරයි .
            ගීතය වූ කලී සාහිත්‍යයේත් සංගීතයෙත් මධුර ඵළයකි. ලිපියක් ලියා එයට ස්වර එක්කළ පමණින් එය ගීයක් වන්නේ නැත. ගීතය යනු කවිය ද නොවේ. කවිය යනු ගීතය ද නොවේ. නමුදු මේ එකින්එක වෙන් කල දැක්විය හැකිද නොවේ. ගීතය වූ කලී මානවයා ආනන්දයෙන් ප‍්‍රඥාව වෙත ගෙන යන තවත් එක් මාධ්‍යයකි. ගී පද මාලාව තනුව හා ගායනය සුසංයෝග වූ කළ ගීයක් උපදියි. ගීයක පවතින ශබ්ද රසය මා යට කී පරිදි පාඨකයා ආනන්දයෙන් ප‍්‍රඥාව වෙත ගෙන යනු ලබන උපාය මාර්ගයකි. ගේය පද රචකයා පොදු සමාජ විඥානයට ආමන්ත‍්‍රණය කරමින් සුභාවිතය උදෙසා ගීත නිර්මාණය කරන්නෙක් විය යුතුයි. දෛනික ජීවිතයේ අපි අනේකවිධ පීඩාවන්ගෙන් පෙළෙන්නෝ වෙත්. එකී කල්හි ඇතැම්විට අපේ මනසට නිතැතින් ගී පද වැලක් මිමිනෙන්නට වෙයි. එසේ මිමිනෙන්නේ එලෙස සප්තස්වරයෙන් මුසු වූ ප‍්‍රබන්ධයන්ය. කෙටි කතාව, නවකතාව, කවිය, ආදී කලාවන් අතික‍්‍රමණය කරමින් ගීතය සහෘද හදවත් ආමන්ත‍්‍රණය කළ බව පැවසිය යුතුමය. ගීතයට හිමි සාහිත්‍ය අන්තර්ගත වන්නේ ගී පද මාලාව තුළයි.
            ගීයට හිමි වටිනාකම පවතින්නේ එහි පද රචනය තුළයි. ගී පද රචනය අසාර්ථක වූ කල්හි සම්භාව්‍ය ගායකයකු හෝ සංගීතඥයෙකු බිහි නොවේ. ගීත රචනයේ දී බාහිරින් තිබෙන මෙම රසාලිප්ත බව තුළ සැ`ගවුණු  දර්ෂණයක් ගීතයේ අභ්‍යන්තරයේ තිබීම ගීතයේ පරිපූර්ණතවය කෙරේ බලපායි. සංගීතය වූ කලී විශ්ව භාෂාවකි. එය  ඕනෑම රටක පුද්ගලයෙකුට බාධාවකින් තොරව රසවිදිය හැකිය. මානවයා මව් කුසේ සිටියදී ම මවගේ හෘද ස්පන්දනය හා සමග පළමුව රිද්ය වටහා ගනියි. එකී සංගීතයේ සුවිශේෂි අංගයකි ගීත කලාව. ලංකාව තුළ අද වන විට ගීත රජකයෝ අනූනය. නමුදු වත්මන වන විට එක් ගීයක් හෝ රසවිඳිය හැකිද යන්න ගැටලූවකි. කෙසේ නමුත් ධර්මසිරි බණ්ඩාරනායකයන් ,  රත්න ශ‍්‍රී විජේසිංහයන්, කුමාරදාස සපුතන්ත‍්‍රියන් රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වැනි විශිෂ්ඨ ගී පද රචකයන් සිටින තුරා ලාංකේය සම්භාව්‍ය ගී ක්ෂේත‍්‍රය මිය නොයැදේවි. 



සපූ (කුමාරදාස සපුතනත‍්‍රි)


මෙරට ගේය පද රචකයන් බොහෝමයකි. එයින් කුමාරදාස සපුතන්ත‍්‍රියන් වූ කලී මෙරට ගී ක්ෂේත‍්‍රයට සුවිශේෂි වූ ගී රැුසක් එක් කල ගී පද රචකයෙකි. ඔහු මානව ජීවිතයේ ප‍්‍රහර්ෂයන් සන්තාපයන් ළතැවුල් ගීයට නගමින් ජීවිත අරුත ලොවට කියා පෑ එක් සුවිශේෂි ගී පද රචකයෙකි.නාගරීකරණයෙන් ඔද්දල්  නොවූ අවිහිංසක ගැමි සුන්දරත්වයෙන් සිය නිර්මාණ උල්පත පාදා ගත් පසු සිය පේ‍්‍රමණීය ගී අසපුව නිබඳවම සරසාලන්නේ සොබා දහමේ අසිරි සිරියෙනි. 
             කුමාරදාස සපුතන්ත‍්‍රියන් සිංහල ගී කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ වූයේ සිංහල සාහිත්‍යයේ රන් අස්වනු නෙළමින් තිබූ කාලයක ය. ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ ගුවන් විදුලි සංස්කාරකවරයෙකු මෙන් ම  වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ මොහු සරල ගී වැඩසටහන් සඳහා පැමිණෙන අංකුර ගායකයන්ට නැතිවම බැරි හිතවතෙක් විය. ඔහු කිසිඳු අය කිරීමකින් තොරව තමාගේ ගී පද රචනාවන් ක්ෂේත‍්‍රයේ නවකයන් හට ලබා දුනි.
           
          සැබෑ ගී පද රචකයකු තුළ පැවතිය යුත්තේ එකී ගුණාංගයයි. අද පවතින ගී පිළිබඳ කවර කතාද?
            සපුතන්ත‍්‍රියන් විසින් ලියන ලද ගී බොහොමයක් සමාජයේ සියුම් තැන් ඉතාමත් විග‍්‍රහත්මකව හෙළි කරන ලද්දකි. එකී හේතුව නිසාම මොහුගේ ගී රසික හදවත් ස්පර්ෂ කළේය. රසිකයන් තදින් වැළඳ ගත්තේය. සපුතන්ත‍්‍රියන් ගී රචනා කළ නමුදු ඉන් ලාබ ප‍්‍රයොජනයක් බලාපොරොත්තු වූයේ නැත. සපුතන්ත‍්‍රියන්ගේ ගීත සහෘද තුඩින් තුඩට මිමිනෙන්නට විය. සපුතන්ත‍්‍රියන් වැඩි වශයෙන් ගී පද රචනා කළේ සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු ස්වරය අපේක්ෂා කරමිනුයි.
            ”චන්ද්‍ර මඩල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා”
මෙය සුනිල් එදිරිසිංහයන්ට ලියූ මුල් ම ගීය වූයේය. හදේ කොතැනක හෝ හිදී ඔබ, නිදුකාණනේ, ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්, මිනිසා සුවඳයි මල සේ, මලට සුවඳ සේ, සුවිසි වරණින්, රන් මලක් මේ සපුතන්ත‍්‍රියන් අතින් ලියැ වූ ගී කිහිපයනක් පමණි. සුනිල් එදිරිසිංහයන්ගේ කටහඩින් ලාංකේය රසිකයා අතර මේ ගී සිත් සතන් වැළඳ ගත්තේ එලෙසිනි. අකුරුමැකී නෑ ගිතය ඒ අනුව එඞ්වඞ් ජයකොඩි සූරීන්ට ලබා දුනි.

            එඞ්වඞ් ජයකොඩි සූරීන් හට ලියැවුනු ගී අතර මාරම්බරී, ලඳු  ඕවිට කළල් මතින්, එපා සඳේ ඔබේ සිනා මේ රැයේ, මාලතී වසන්තේ යන ගී රසික තුඩින් තුඩ මිමිනෙන්නට විය. සපුතන්ත‍්‍රියන් සුනිල් එදිරිසිංහ හා එඞ්වඞ් ජයකොඩි සූරීන් හට පමණක් ගී ලියු බව පැවසී නම් එය මුසාවකි. සපුතන්ත‍්‍රියන් විසින් වික්ටර් රත්නායකයන් හට, දීපිකා ප‍්‍රියදර්ශනී, නිරංජලා වැනි ගායකයන්ගේ ගී හඩ අවදි කළේය.
නාගරීකරණයෙන් ඔද්දල් නොවූ අවිහිංසක ගැමි සුන්දර්තවය සිය නිර්මාණ සඳහා උල්පත බවට පත් කරගත් සපුතන්ත‍්‍රියන් රසිකයාට වඩාත් උචිත ගී නිමැවන්නට විය.
            
”බහ තෝරන වියේ සිට මා හැදී වැඩුනේ බේරුවල ප‍්‍රදේශයේ වැලිතර නම් වූ ඒ සැබෑ සුන්දර ගම්මානය මගේ නිර්මාණ කුසලතා පෝෂණය කළ මවක් විය. නාමිකව සඳහන් කරන්නේ නම් , ගම වටකළ හෙට්ටිගොඩ වෙලත් ඒ හරහා ගැලූ ගගත් එම ගග එගොඩ රබර් හා කුරුදු යායත් මෙන්ම ඔබවත්ත වන රොදත් මගේ කලා දිවියේ ආනන්දනීය වූ ශාස්ත‍්‍රාලය විය.”
                         උපුටා ගැනීම සරසවිය 2015 මැයි 07

සපුතන්තියන් තම මාවතේ ස්ථිර පදනම දැමුවේ 1999 වර්ෂයේ එළි දැක්වූ මලින් මලට ගී පද එකතුවත් සම`ගයි. එදවස ඔහුගේ කෝඩුකාර කවි සිත සෞන්දර්ය රසයෙන් ආලෝලනය වූයේ එවැනි රම්‍ය පරිසරයක සිටයි. අද වන විට සපුතන්ත‍්‍රි මහතා සිය ගමන් මගෙහි හතලිස් තුන් වසරක් සාර්ථකව නිම කර අවසන්ය. ඔහු මීට පෙර වසර ගණනකට පෙර සඳහන් කළ වචන කිහිපයක් මෙලෙසය.
            ”මට හෙටත් මොනවා හෝ කළ හැකිය යනුවෙන”ි. නමුත් කුමාරදාස සපුතන්ත‍්‍රි සූරීන් වූ කලී වත්මන් නොදියුණු ගී පද රචකයන් මෙන් වානිජ පරමාර්ථයෙන් ලියන්නෙකු නොවිණි. කෙටියෙන් ම කිවතොත් ඔහු සිල්ලර පංතියේ ගේය පද රචකයෙකු නොවූවේය. ඔහු ගෞරවනීය ගේය පද රචකයෙකි. සපුතන්ත‍්‍රි සූරීන් ලියැවී ඇති බහුතර ගේය පද පේ‍්‍රමනීය ඒවායි. එකී පදවැල් දෙස බලද්දී සපුතන්ත‍්‍රියන් ඉතාමත් පේ‍්‍රමණිය අයෙකු යැයි දිස් වෙයි. ඔහු මෙලෙස පේ‍්‍රමය ගී පද රචනයට එක් වන්නට ඔහුගේ පේ‍්‍රමයත් විරහවත් බලපා ඇති බව ඔහුගේ සාකච්ඡුාවේදී වැටහුම් වෙයි. වත්මන් ගී මෙන් නොව එකී ගී පද සුන්දරයි. ආදරයේ වේදනාව එක් සොදුරු අත්දැකීමක් බව පසක් කරයි.
            සපුතන්ත‍්‍රියන් සිය ගමන  ප‍්‍රථමයෙන් ආරම්භ කළේ පද්‍ය රචකයෙකු ලෙසයි. ඔහුගේ ප‍්‍රථම සරල ගීය නිර්මාණය වූයේ ගුවන් විදුලි වැඩසටහනකදී රෝහන වීරසිංහයන් වෙනුවෙනිි. එය රෝහණ වීරසිංහයන්ගේත් ප‍්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහන විය. අපරාජිකයි මා හද රජ දහනක ගීය ඔහුගේ  ප‍්‍රථම ගීය බවට පත් විය. එලෙස ඇරඹුනු එම දිවිය සුනිල් එදිරිසිංහයන් හා එඞ්වඞ් ජයකොඩි සූරීහු සම`ග සාර්ථක ඉදිරි ගමණක් යන්නට විය. සපුතන්ත‍්‍රියන් ඔහුගේ මීළ`ග ගී රජනා කලේ එඞ්වඞ් ජයකොඩි සූරීන් වෙනුවෙනි. අනතුරුව ඔහු සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් විශාල ගේය පද රචනයන් ලබා දුනි.
            කුමාරදාස සපුතන්ත‍්‍රි නාමය පරපුරෙන් පරපුරට ඉදිරියට යන්නේ ඔහුගේ අපූරු ගේය පද වත්මන් පරපුරට උපදෙස් රැසක් එක් කරමිනි. අද වනවිට ලාංකේය කලාකරුවනගේ තත්වය ඉතාමත් අභාග්‍ය සම්පන්න වී ඇති බව ඔහු සඳහන් කරන්නේ ඉතාමත් කනස්සල්ලෙන් යුතුවයි. කසේ නමුත් සාහිත්‍ය ලෝකයේ ගීත ක්ෂේත‍්‍රයේ අනභිභවනීය මෙහෙවරක් ඉටු කළ සපුතන්ත‍්‍රි නාමය කලා ලොකයේ සපූ නමින් චිරාත් කාලයක් පවතිවා. !
 




මලින් මලට ඉගිලූනාට

මලින් මලට ඉගිලූනාට සමනළයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ

හිතේ ගින්න අවුලාගෙන සුතරල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල තලන්නේ
අපේ දුකට හ`ඩන මලේ කදුලයි පැණි කෙරෙන්නේ

මලින් මලට ඉගිලූනාට සමනළයින් නොවේ....

අහසින් වඩින පින ලැබිලයි උඩ  සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස්පැය ගුවනේ සැරිසරන්නේ
නැතිබැරිකමයි උඩු හුලගේ ලණු දෙපොටේ වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට ඉගිලූනාට  සමනළයින් නොවේ......




ගායනය         -           සුනිල් එදිරිසිංහ
පද රචනය     -           කුමාරදාස සපුතන්ත‍්‍රී
සංගීතය         -           රෝහණ වීරසිංහ


කුමාරදාස සපුතන්ත‍්‍රි සුරින්ගේ කුඩා කල අත්දැකීමක් මෙම ගීයට වස්තු විෂය විය. ඒ පිළිබඳ අත්දැකීඹ ඔහුගේ ඔහුට ඉතාමත් සංවේදී එකක් වූ බව ඔහු පවසයි. මේ ඔහුගේ කුඩා කළ අත්දැකීමකි. ඔහුගේ උපන් ගම මාතරය. නමුත් ඔහුගේ කුඩා අවධියේ දී එනම් පාසල් යන අවධියේදී ඔහු හැදී වැඩුනේ බේරුවල වලපනේ නම් වූ සුන්දර ගම් පියසකයි. සාමාන්‍ය පෙළ විභාගය සමත් ව අනතුරුව උසස් අධ්‍යාපනය පිණිස කළුතර විද්‍යාලයට ඇතුළත් විය. ඔහු බේරුවල සිට කළුතර විද්‍යාලය වෙත ගියේ දුම්රියේ ය. එය ඔහුට සුන්දර අත්දැකීමක් වූ බව ඔහු පැවසීය. අවට සිරි නරඹමින් ඔහු තම පාසල වෙත ඇදුනේ සිත්කළුවය. සුන්දර සයුරත් ඒ හා වූ වෙරළ සේ ම පොල් රුප්පාව කවියකුගේ කවි සිතිවිලි උත්පාදනය කරයි.

            මෙම ගීයට ඔහුගේ වස්තු විෂය වූයේ මේ පොල් රුප්පාව අසල කුඩා ගෙයක ජීවත් වූ පුංචි මිනිසකු සම්බන්ධවයි. මොහු ගමන් කරන දුම්රිය සෑමදාම පයාගල දී නතර වෙයි. එ් ගාල්ල සිට කොළඹ දෙසට එන දුම්රිය හා පීලී  මාරුවට ය. මෙලෙස දුම්රිය නැවතුම්ලත් ස්ථානය අසළ එක් සුවිශේෂ දර්ෂණයක් ඔහුගේ නෙත ගැටෙන්නට විය. ඔහුගේ වම් පෙදෙස තාර පාරත් අනතුරුව පොල් රුප්පාවත් වෙයි.  එහි එක් කුඩා නිවසක් විය.  එහි එක් මනුෂ්‍යයෙක් විය. ඔහු පොල් ගස අසලට විත් පොල් ගසට වැඳ ඔහුගේ රාජකාරිය වෙත යොමු වෙයි. ඔහුගේ රාජකාරිය වනුයේ අතුරේ යාමයි. නිතපතා මෙම දර්ෂණය සපුතන්ත‍්‍රි මහතාගේ නෙත ගැටෙයි. එක් දිනක් එක් කුඩා දියණියක් ඇවිත් ඔහුගේ දෙපා නැමැද පාසල් යනු දිටි ය. එකි ළදැරියට ආශිර්වාද කරන ඔහු නැවතත් තමාගේ රාජකාරියට යයි.
            මෙකී සිද්ධිය මෙම ගීයට වස්තු විෂය විය. නමුත් මෙය ගීයට නැගෙන්නේ කාල වකවානුවක් ඉදිරියට යාමෙන් පසුවයි. දිනක් ඔහු වැඩිවියට පත් ව රැුකියාවක් කරන අවධියේ දී තම ගම් පිියස වෙත ගමන් කරයි. එලෙස යන අතරතුරදී ඔහුට තමා කුඩා අවධියේ දී දුටු සිදුවීම මනසට නැගිණ. ඔහු එදා දුටු කුඩා නිවස වෙත පියම. කළේය. එදාට වඩා තරමක ප‍්‍රමාණයක එම නිවස පිළිසකර කර තිබූ අතර එහි කාන්තාවක් විය. පසුව ඇයගෙන් කළ විමසීමකදී ඇය එදා දුටු කුඩා දියණිය බවත් තම පියා අතුරේ යාමෙන් ඇද වැටී මිය ගිය බවත් තම සැමියා ද එකී රැුකියාවේ ම නිරත වන බවත් ඇගේ කතාවෙන් වැටහුම් වූවේය.
            මෙකී සිදුවීම සපූතන්ත‍්‍රි මහතාගේ හද සසල කරවන සුලූ සිදුවීමක් විය. කවියා වනාහි ඉතා සංවේදී අයෙකි. ඔහු සමාජයෙහි වූ ඉතා සියුම් දේ කෙරෙහි පවා සංවේදී වෙයි. ඔහුගේ හද සසල වෙයි. එබන්දකි මෙ හිදී ද සිදු වූයේ.
            මෙම ගීතයේ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි. ගායනය සුනිල් එදිරිසිංහ මහතා විසිනි. අපූර්ව පද සබැදුමට අපූර්වත්වයක් එක් කරමින් පේ‍්‍රක්ෂකයා වෙත ගීය සමීප කරන්නට ත‍්‍රි පුද්ගලයන්ගේ මුසුව සුසංයෝගය ශක්තිමත් එකක් විය. මේ ගී විචාරයට පූර්වරම්භයකි.

ලෝකයේ නා නා විධ පුෂ්පයෝ වෙත්. ඇතැම් පුෂ්පයෝ සූර්යාලෝකයෙන් විකසිත වෙත්. ඇතැම්හු චන්ද්‍රාලෝකයෙන් විකසිත වෙත්. ඇතැම් පුෂ්පයෝ බුදු පුදට වෙයි. පුෂ්පයෝ  ලොව සුන්දරත්වය මනස්කාන්ත කරයි. ලොවෙහි කිසිවකට තනිව ජීවත් විය නොහැක. අප එකිනෙකා ජීවත් වන්නෙ අනෙකාගේ යැපීමෙනි. ලෝ්කයේ පැවැත්ම උදෙසා එකී කර්තව්‍ය අනිවාර්ය එකකි. පුෂ්පයන් පරාගනය සිදු කරයි. පුෂ්ප පරාගනය වූ කලී සමනළයන් බමරුන් මතින් සිදු වෙයි. නොයෙක් නා නා විධ වර්ණයන්ගෙන් වූ සමනළයන් මලින් මලට ගොස් පැණි ගෙනෙන දසුන මනස්කාන්තය.

 මලින් මලට ඉගිලූනාට සමනලයින් නොවේ
 අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ

 පැණි ගෙනෙන්නෝ වන බඹරුන්ය. සමනළයින්ය. මලින් මලට පියඹා ගොස් මල නොතලා පැණිගන්නෝ ඔවුන්ය. නමුදු වන බමරුන් නොවන සමනළදින ද  නොවන කණ්ඩායමක් මල් මතින් රොන්  ගනිත්.
            ලංකාවේ යටත් විජිත සමයේ දේශිය ධනපති පංතියක් බිහිවීම කෙරෙහි රේන්ද කර්මාන්තය විශාල බලපෑමක් කළේය. මෙම රෙනද කර්මාන්තය හා මුසු වූ කර්මාන්තයකි රා මැදීම.  සන්ධ්‍යා භාගයේ දී උස් පහත් භේදයකින් තොරව රා උගුරක් තොල ගාන්නේ තම දෛනික වෙහෙස නිවා තැනීමේ අටියෙනි. රා මදින්නා සමාජයේ පහත් යයැ සම්මත කුලයේ වෙසෙන්නෙකි. නමුදු ඔහු මදින රා උස් පහත් භේදයකින් තොරව රස විඳියි. මේ ක‍්‍රියාදාමය වූ කලී පන්ති සහිත සමාජයේ සිදුවන දැඩි දෝෂයකි. නිර්ධනයාගෙන් ශ‍්‍රමය සූරාකෑමත් බලය ධනය හිමි පන්තිය සතු වීමත් දැඩි දෝෂ සහිත තත්වයකි.
            සිරි ලක තුළ වූ නොයෙක් වූ වෘත්තින් පිළිබඳ ලියැවූූ ගීත වෙත්. එකී ගී පේ‍්‍රක්ෂක රසවින්දනයට පේ‍්‍රක්ෂක හෘද සන්තානය වැළඳ ගත්තේය. රා මැදීම සුරාව තේමා කරගත් නිර්මාණයෝ බොහෝ වෙත්. නමුදු එකී වෘත්තිය කෙරෙහි සාධාරණත්වයක් කිසිදු ගීයකින් තිව‍්‍ර නොවේ.  රා කැපිම නිමිති කොටගනිමින් ලියැ වුණු මෙම ගීය  එකී වෘත්තිය කෙරෙහි සාධාරණ කර්තව්‍යයක් ඉටු කර ඇත.
            රා මැදීම අනතුරුදායක රැුකියාවකි. මලින් මලට ගොස් පැණි පෙරයි. නමුදු සමනළයින්ට වන බමරුනට මෙන් අත්තටු නැත. අතුරේ යාම වූ කළි අවදානම් රැුකියාවකි. සිත තුළ ජකිතයක් නැතිතේ ද නොවේ. නමුදු ඔහු දන්නා රැුකියාව එයයි. ඔහුගේ රැුකියාව එයයි. ඔහුට අඹුදරුවන් වෙයි. ඔවුන් කුස ගින්නේ තැබිය නොහැක.  සියල්ලන් වෙනුවෙන් ඔහු තම ජීවිතය මත්තෙහි රැුදී නොසිටියි.
            සපුතන්ත‍්‍රියන් තම ගීියේ මීළ`ග පද කොටස උදෙසා අනුභූති කොට ගන්නේ ලදැරිය යි.

හිතේ ගින්න අවුලාගෙන සුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය මනිනනේ

යට කී පරිදිදෙන් මෙකී අවදානම් ගමන ඔහුගේ හදවතේ චකිතයක් එක් කරයි. නමුදු කවියා මෙහි දක්වන්නේ හිතේ ගින්න අවුලාගෙන ලෙසයි. පියෙකුගේ ලකුණ එයයි. තම ¥ දරුවන් වෙනුවෙන් තම ලේ මස් ඇට නහර දන් දීමට පවා පැකිලෙන්නේ නැත. පිය සෙනෙහේ ධනවතුන් දුප්පතුන් ලෙස භේදයක් නැත. තම රැුකියාව කෙතරම් දුෂ්කර වුවද තම අඹු දරුවන් හාමතේ තබන්නේ නැත. මෙහි උක්ත ගී පදය යොදා ඇ්ත්තේ එහෙයිනි. සැබවින් ම මෙකී පදය හදවත සසල කරවයි. කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ තම සිත තුළ වු චකිතය බිය තම දරුවන්ගේ කුසගින්න හමුවේ යටපත් වෙයි.
            ඔහු තුළ වු බිය අසාධාරණ නොවෙයි. එයට බිය කීවොත් ඔහුගේ රැුකියාව කෙරෙහි මා අගෟරව කරයි. එය චකිතය යැයි හ``දුන්වමු. රා කැපීම පහසු රැුකියාවක් නොවෙයි. මලින් මලට ගොස් නිසි ආකාරව එකි කර්තව්‍ය කළද සුරා ලෝලියන්ගෙන් එය රැුකගැනීම පහසු වන්නේ නැත. එසේ ම නිශාචර සත්වයින්ගෙන් මුදවා ගැනීම ද පහසු කර්තව්‍යයක් නොවනු ඇත. නමුදු ඔහු පසුබසින්නේ නැත. ශෝක වූවාට පලක් නොමැති බවද ඔවුන් හොදාකාරව ම දනියි.
            මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
මෙය ව්‍යංගාර්ථයකි. උත්ප‍්‍රාසයකි. මෙම ගී පාදය ඔහුගේ දිවි තතු එලෙසට ම කියා පායි. මොවුහු ධනවතුන් නොවේ. වැඩකරන පංතිය නියෝජනය කරන ශ‍්‍රම සූරා කෑමට ලක්වන නිර්ධන පංතියේ නියෝජනයයි. නිර්ධන පංතියේ පීඩාව කුමට කිව යුතුද? එදා වේල සොයා ගැනීමේ අතිදුෂ්කර බව හමුවේ තම දිවියම පිරදුවට තබයි. අඹුදරුවන් සම`ග මෙම පීඩාවන් හමුවේ එකට මිරිකෙමින් සිටියි. කෙතරම් දුක්ඛ දෝමනස්සයන් තිබුනද ඔවුන්ට උපකාරී වන්නට කිසිවෙක් නොමැත.  ඔවුනගේ දුකට හ`ඩන්නෙකු ද නැත.
            අපේ දුකට හඩන මලේ කදුලයි පැණි කෙරෙන්නනේ

ඔවුනගේ දුකට හ`ඩන්නේ පොල් මලයි. ඒ ඔවුනගේ දිවියේ  ගැහැට හඳුනන එකම වස්තුවයි. ඒ හැරුණු කොට දිවියේ ඔවුන් වෙනුවෙන් කිසිවකු නැත. ඔවුන්ගේ දුකට හ`ඩන මලේ කඳුලූ පැණිකරන්නේ ලෙෂ දක්වා තිබීමෙන් ඔවුනගේ අසරණ බව මොනවට පැහැදිලි වෙයි. තොලකට පිනවා ගන්නා ඒ පිරිස පානය කරන්නේ මොවුන්ගේ සන්තාපයන්ය., යන්න කවිය ව්‍යංගයෙන් ජනිත කරන්නට උත්සහ ගෙන ඇත.  සපුතන්ත‍්‍රියන් එලෙස  දක්වා ඇත්තේ ඔවුනගේ දිවියෙහි වූ අසරණබව නිරූපණය කිරීම උදෙසාය.
            රා මැදීම සිදුවන්නේ බොහෝ විට නිරිත දිග වෙරළබඩ ප‍්‍රදේශය ආසන්නයේ ය. නිරිතදිග වෙරළ කලාපය වූ කළී වර්ෂාව බහුල ප‍්‍රදේශයක් බව අමුතුවෙන් නොකිව යුතු මනාය. තෙතබරිත වූ ගස් මත නැගීම හෝ අතුරේ යාම ඉතාමත් දුෂ්කරය. ඇතැම් දිනවල කිසිසේත්ම රාජකාරිය සඳහා යාමට ඔහුට නොහැකිය. එලෙසම වැසි දිනවල රා වල ප‍්‍රමිතිය ද බාල වෙයි. එය ව්‍යාපාරයට කිසි සේත්ම යහපත් තත්වයක් නොවේ. එදා වේල සරිකරගන්නා මොවුන්ගේ ජීවිතය කබලින් ලිපට වැටීමකි එවිට සිදු වන්නේ.
            ගීතයේ සුවිශේෂි ම පද්‍ය කොටස අවසාන පද්‍ය පාදයයි. සමස්තයක් ලෙස සමාජයේ මෙම රැුකියාව පහත් යැයි සලකයි. එනමුදු ගී පද රචකයා තම පරිකල්පන ශක්තියෙන් එය උත්තම රැුකියාවක් බවට පරිකල්පනය කරයි. එය අන් කවරකුටවත් නොලැබෙන අවස්ථාවක් බැව් සපත  කරයි.

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ

අහසින් වඩින්නේ රහත් උතුමන්ය. දෙවිවරුන්ය. ධ්‍යානය වැඩූ මුනිවරුන්ටය. කෙසේ වුව ද මෙම මිනිසාත් දෙවියන්ට සමකර ඇත. සපුතන්ත‍්‍රියන් පවසන පරිදි මෙම යෙදුමෙහි අර්ථය ඔහුගේ රැුකියාවේ අවදානම සපථ කිරීමයි. මොහුට ලණු දෙපොටේ හැර අන් කිසිවක පිහිටක් නොවේ. සීරුවෙන් තබන පය ලිස්සා ගියහොත් තම ජීවිතය මෙන් ම තම අඹුදරුවන්ගේ ජීවිතය පවා විනාශයට පත් වෙයි. එහෙයින් තම මනස සංවරව පවත්වාගැනීම කළ යුතු වෙයි. එය ධ්‍යානයක් බඳුය.

            පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරුසරන්නේ

අප මහා බෝසතානන් වහන්සේ යමා මහ පෙළහර පෑවේ පළමුවර දෙවියන්ගේ සැක දුරුකිරීම පිණිසය. දෙවනවර යමාමහ පෙළහැර පෑවේ ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම උදෙසාය. දෙවියන් ද පෙළහරපාන්නේ ඔවුන් වෙනුවෙනි කුමක් හෝ් සැක සංකාවන් සිදු වූ විටයි. නැතිනම් තම භක්තිකයන් වෙනුවෙන් කුමක් හෝ අකටයුත්තක් සිදු වූ විටය. නමුදු රා මදින්නා හට තම ජීවිතය සැකයකි. එය කෙසේ කුමන අයුරකින් සිදු වේ දැයි ඔහු නොදනියි. අවිනිශ්චිතය. තම ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් නිවා ගැනීම උදෙසා හෙතෙම ගුවනේ පෙළහරපායි. දෙවියන්ට මෙන් බලයක් නොවේ. ඔහුගේ බලය ලණු දෙපෙටයි. ඔහුගේ භක්තිකයන් ඔහුගේ අඹුදරුවෝය. සැබවානි ම මෙය උත්ප‍්‍රාසවත් යෙදුමකි.

            නැතිබැරිකමයි උඩු හුළගේ ලණු දෙපොටින් වැනෙන්නේ

ජීවිතයත් මරණයත් අතර වූ සටන, දරිද්‍රතාවය උක්ත පද්‍ය පාඨයෙන් මනාව විශද වෙයි.  මා යට කී පරිදි ඔහු දන්නා එකම වෘත්තිය එයම පමණයි.  සවුදිය පුරන මහපොළවට අපි දහඩිය වඩන්නේ යන්නෙන් තම රැුකියාවේ උතුම් බව හෙළි කිරීම දක්වනු ලබයි.  උක්ත ගී කොටසින්ම ගී පද රචකයා උත්සහ දරා ඇත්තේ එකී තේමා කරගත් රැුකියාවේ උතුම් බව කියා පෑමටයි.
              ගී පද රචකයාගේ පරිකල්පනය සාර්ථක වූ පමණින් එය සාර්ථක ගීයක් බට පත්වන ඉඩකඩ අවමය. නමුත් එකී කර්තව්‍යයේ බහුතර කාර්යයන් ප‍්‍රමාණය හමාරකරගෙන අවසන්ය. කසියම් පද කොටසක් ගීයක් බවට පත් වන්නේ එහි වූ සංගීත නිර්මාණ කොටස නිසාවෙනි. මෙම ගීයේ සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහයන් අතින් සිදුවිය.
            ගීය හොඳින් ශ‍්‍රවනය කළ විට එහි යම් විශේ්ෂත්වයක් ඔබේ දෙසවන වැකෙනු ඇත.  ප‍්‍රථමයෙන් ම එහි ආරම්භක සංගීත ඛණ්ඩය සවන වැකෙන්නකෙුම එහි සුවිශේෂිත්වයක් වැටහෙයි. එනම් පොල් ගසට නගින රිද්මය එහි අන්තර්ගතයි. ඉතා සියුම්ව ශ‍්‍රවණය කරන්නකෙුට හා ඒ පිළබඳව තම මනසින් ගමන් කරන්නෙකුට එය හොඳින් වැටහුම් වෙයි.
            මලින් මලට ඉගිලූනාට සමණලයින් නොවේ
            අපි මලින් මලේ පැණි පෙරුවට වන බමරුන් නොවේ.
එකී සංගීතයෙන් ලණුව මත පය සීරුවට තබන අයුරුත් තම දෑතින් තම හිසට උඩින් වූ ලණුව අල්වාගනිමින් සීරුවට ගමන් කරන අයුරුත් මනැස තුළ ප‍්‍රතිනිර්මාණය වෙයි. ඒ කෙරෙහි බලපෑම්කරනුයේ යට කී පරිදි සංගීත ස්වභාවයයි. සමස්ත ගීය පුරාවටම ඉතා සියුම් ආකාරයෙන් යම් හ`ඩක් ඊට එක් කර ඇත.
            ලණු දෙපොට ගැට ගසා ඇත්තේ එක් ගසක සිට අනෙක්් ගස දක්වායි. ඒ අතරතුරදී කිසිඳු ආධාරකයක් නොමැත එලෙසම පොල් රා මැදීම සිදු වන්නේ වැඩි වශයෙන් වෙරළබඩ ප‍්‍රදේශ ආශ‍්‍රිතවයි. අතුරේ යාම එහෙයින් ඉතා දුෂ්කර කර්තව්‍යයකි. එක් අතෙකින් ලණු දෙපොටේ ආධාරය පමණි. එලෙසම දැඩි සුළං හමුවේ තම සමබරබව තබා ගත යුතුය. මෙම සමස්ත ගීත ඛණ්ඩය ඇතුලත ඉතා සියුුම් ලෙස ලණු දෙපොටේ පැද්දීම තුළින් එන ශබ්දය එක් කර ඇත. එය ඉතාමත් සියුම් ලෙස  යොදා ඇත.
            ගී පද රචනයත් සංගීතයත් මෙන්ම ගායනයත් ගීතයේ සාර්ථකත්වය කෙරෙහි බලපා ඇති බව ඇතිවිය යුතුමය. සංගීතය, තනුව අතුරේ ගමන් කරන අයුරින් දැක්වූවා සේම ගායනය තුළින් එය වඩාත් තීව‍්‍ර කරමින් දක්වයි.
            යම් කර්තව්‍යයක් සාර්ථක වීම කෙරෙහි එකිනෙකාගේ සහයෝගීබව දම්වැලක මෙන් පැවතිය යුතු වෙයි. සාර්ථක ක‍්‍රියාදාමයක ප‍්‍රථිපලයක් ලෙස යට කී ගීතය දැක්විය හැකිය. රා මැදීම පහත් යැයි සලකන සමාජයක ඔවුන්ගේ ජීවන බර ජීවිතයේ දුක් දොම්නස් තම සංවේදි දෑසින් දැක අනුවේදනීයව කළ සාර්ථක ගී පබැදුමකි.
             





             









           











Comments

Post a Comment

Popular Posts